ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන වර්ණවල උළෙල හෙවත් ‘හෝලි’ උත්සවය ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත්ව පැවැත්වේ. වසන්තයේ උදාව සනිටුහන් කරමින් සහ සීතල ශීත ඍතුවේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වෙන මෙම උත්සවය, අකුසලය පරදා කුසලය ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා වෙන් වූවකි. විශේෂයෙන්ම ඉන්දියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රාන්තවල ඉතා ජනප්‍රිය මෙම උත්සවයේදී ජනතාව වීදි බැස එකිනෙකාට විවිධ වර්ණ ගන්වමින්, ආගමික වතාවත්වල නිරත වෙමින් සහ සාම්ප්‍රදායික රසකැවිලි අනුභව කරමින් මහත් ප්‍රීතියෙන් යුතුව කාලය ගත කරති.
හෝලි උත්සවයේ ඉතිහාසය හින්දු පුරාවෘත්තයක් වන හෝලිකා නම් රාක්ෂණියගේ කතාව සමඟ බැඳී පවතී. විශ්ණු දෙවියන්ට භක්තිමත්ව වන්දනාමාන කළ ප්‍රහ්ලාද් නම් කුමාරයා මරා දැමීමට හෝලිකා උත්සාහ කළද, ගින්නෙන් දැවී මිය යන්නේ ඇයම පමණක් බව එම පුරාවෘත්තයේ සඳහන් වේ. මෙම හාස්කම් සහගත බේරා ගැනීම සහ යහපත ජය ගැනීම සිහිපත් කරමින් ජනතාව මෙම උත්සවය සමරනු ලබයි. වර්තමානය වන විට ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ලොව පුරා විවිධ රටවල ජනතාව සාමය සහ සහෝදරත්වය ප්‍රදර්ශනය කරන සංස්කෘතික මංගල්‍යයක් ලෙස හෝලි උත්සවය වැළඳගෙන තිබීම විශේෂත්වයකි.












