ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Grey’s Anatomy’ සහ ‘Euphoria’ වැනි රූපවාහිනී කතා මාලාවන් හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ හොලිවුඩ් නළු එරික් ඩේන් (Eric Dane) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 53 හැවිරිදි වියේ පසුවූ අතර, වසරකටත් අඩු කාලයක සිට ඔහු මාරාන්තික ස්නායු රෝගයක් වන ‘මෝටර් නියුරෝන්’ (Motor Neurone Disease) තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටියේය. ඊයේ (19) පස්වරුවේ ඔහුගේ අභාවය සිදුවූ බව ඔහුගේ නියෝජිතයන් විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.
‘Grey’s Anatomy’ කතා මාලාවේ වෛද්‍ය මාර්ක් ස්ලෝන් (Dr. Mark Sloan) හෙවත් “McSteamy” ලෙස කළ රංගනය ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ අතර, එය ඔහුව ජාත්‍යන්තර තලයේ තරුවක් බවට පත් කළේය. මෑත කාලීනව ඔහු HBO නාලිකාවේ ‘Euphoria’ කතා මාලාවේ කැල් ජේකොබ්ස් ලෙස කළ ප්‍රබල රංගනය ද විචාරක පැසසුමට ලක්විය. රෝගී තත්ත්වය උත්සන්න වී රෝද පුටුවකට සීමා වී සිටියද, ඔහු සිය වෘත්තීය කැපවීම ප්‍රදර්ශනය කරමින් ‘Euphoria’ හි ඉදිරි කොටස් සඳහා ද දායක වී සිටීම විශේෂත්වයකි.
එරික් ඩේන්ගේ හදිසි වියෝව වෙනුවෙන් හොලිවුඩ් පුරවරයේ සහ ලොව පුරා සිටින ඔහුගේ රසික රසිකාවියන් සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටිති. දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම අභියෝග හමුවේ නොසැලී සිටි මිනිසෙකු ලෙස ඔහුගේ නාමය සිනමා සහ රූපවාහිනී ඉතිහාසයේ නොමැකී පවතිනු ඇත.














