TikTok හිමිකාරීත්වය දරන චීනයේ ByteDance සමාගම විසින් හඳුන්වා දුන් නවතම AI වීඩියෝ මෙවලම මඟින් පවතින චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වල ප්‍රකාශන හිමිකම් (Copyright) උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ප්‍රධාන පෙළේ අමෙරිකානු චිත්‍රාගාර එම කටයුතු වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ. “Seedance 2.0” නමැති මෙම ප්‍රබල AI මෙවලම හරහා නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන අතර සුපිරි නළු ටොම් කෲස් සහ බ්‍රැඩ් පිට් චිත්‍රපටයක සටන් කරන අයුරු දැක්වෙන අති-යථාර්ථවාදී දර්ශන ද ඇතුළත් වීම මෙයට හේතුවයි.
Netflix, Disney, Warner Bros, Universal සහ Sony වැනි ප්‍රධාන පෙළේ චිත්‍රාගාර නියෝජනය කරන සිනමා සංගමය (MPA) පවසන්නේ, මෙම චීන AI සේවාව ඉතා කෙටි කාලයක් තුළ අතිවිශාල වශයෙන් අමෙරිකානු ප්‍රකාශන හිමිකම් සහිත නිර්මාණ අවසරයකින් තොරව භාවිත කර ඇති බවයි. මෙය සිනමා කර්මාන්තයට එල්ල කරන දැඩි තර්ජනයක් ලෙස ඔවුන් හඳුන්වා දෙයි.
කෙසේ වෙතත්, ByteDance සමාගම ප්‍රකාශ කරන්නේ තමන් බුද්ධිමය දේපළ අයිතීන්ට ගරු කරන බවත්, අදාළ වීඩියෝ දර්ශන නිල වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට පෙර සිදුකළ පර්යේෂණ මට්ටමේ ඒවා බවත්ය. එසේම මේ වන විට සැබෑ පුද්ගලයන්ගේ රූප උඩුගත කිරීමේ හැකියාව (Upload) තාවකාලිකව අත්හිටුවා ඇති බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














