හෝමාගම, නියඳගල ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කර තිබූ බිළිඳෙකුගේ සොහොනක් කිසියම් පුද්ගලයෙකු විසින් හෑරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය බදාදා (11) දහවල් 2.00 ත් 2.30 ත් අතර කාලයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, සැකකරු සුසාන භූමියට ඇතුළු වී ඇත්තේ සිය පියාගේ සොහොන පිරිසිදු කිරීමට අවශ්‍ය බව පවසමිනි. කෙසේ වෙතත්, මොහු සවලක් ආධාරයෙන් මීට මාස දෙකකට පමණ පෙර මිහිදන් කළ බිළිඳෙකුගේ සොහොනක් හෑරීමට පටන් ගෙන ඇති බව හෙළි වී ඇත.
සුසාන භූමියේ සේවකයෙකුට ඇති වූ සැකය මත හෝමාගම ප්‍රාදේශීය සභාව දැනුවත් කර ඇති අතර, පසුව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ සොහොන හාරා බිළිඳාගේ දේහය සහිත පෙට්ටියේ ඉහළ කොටස විවෘත කර ඇති බවයි. බිළිඳාගේ ගෙලෙහි බැඳ තිබූ බව කියන ‘පංචායුධ’ පදක්කම සොරකම් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, දේහය සහිත පෙට්ටිය නැවත මුද්‍රා තබා තිබූ තත්ත්වයෙන්ම තැන්පත් කරන ලෙස නියෝග කළේය. සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.















