ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන හොන්ඩා (Honda) සමාගම, 1950 දශකයෙන් පසු සිය ප්‍රථම වාර්ෂික ශුද්ධ අලාභය වාර්තා කරමින් සිටින බවට අනතුරු අඟවා තිබේ. විද්‍යුත් මෝටර් රථ (EV) සඳහා පවතින ඉල්ලුම පහත වැටීම සහ චීන නිෂ්පාදකයන්ගෙන් එල්ල වන දැඩි තරගය හමුවේ සිය විද්‍යුත් වාහන උපාය මාර්ගය සංශෝධනය කිරීමට සිදුවීම නිසා ඉදිරි වසර දෙක තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 15.7ක (ජපන් යෙන් ට්‍රිලියන 2.5ක) දැවැන්ත අලාභයක් සිදුවිය හැකි බව එම සමාගම පවසයි.
මීට පෙර ලාභ ලබන බවට අනාවැකි පළ කර තිබුණද, මෙම මාසයෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා යෙන් බිලියන 360ත් 630ත් අතර ශුද්ධ අලාභයක් අපේක්ෂා කරන බව හොන්ඩා නිවේදනය කළේය. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ උතුරු ඇමෙරිකානු වෙළඳපොළ ඉලක්ක කරගත් Honda 0 SUV, Honda 0 Saloon සහ Acura RSX යන විද්‍යුත් මාදිලි තුනක් අවලංගු කිරීමට ගත් තීරණයයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ විද්‍යුත් වාහන සඳහා ලබාදුන් සහන කපා හැරීම නිසා ඇමෙරිකාවේ EV ඉල්ලුම බලාපොරොත්තු වූවාට වඩා 50%කින් පමණ පහත වැටී ඇති බව හොන්ඩා සභාපති තොෂිහිරෝ මිබේ (Toshihiro Mibe) පෙන්වා දුන්නේය.
මෙම මූල්‍ය අර්බුදය හමුවේ සභාපතිවරයා සිය මාසික වැටුපෙන් 30%ක් මාස තුනක් සඳහා ස්වේච්ඡාවෙන් කපා හැරීමට තීරණය කර ඇති අතර, අනෙකුත් විධායක නිලධාරීන් ද සිය වැටුපෙන් 20%ක් නැවත ලබා දීමට එකඟ වී ඇත. පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇමෙරිකානු වෙළඳපොළ සඳහා හයිබ්‍රිඩ් (Hybrid) මාදිලි කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හොන්ඩා සමාගම තීරණය කර ඇති අතර, සෝනි (Sony) සමාගම සමඟ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ EV ව්‍යාපෘතියේ අනාගතය පිළිබඳව ද මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැත.














