හොංකොං රජය විසින් ජාතික ආරක්ෂක නීතියේ 43 වන වගන්තිය යටතේ සංශෝධිත ක්‍රියාත්මක කිරීමේ රීති අද (23) සිට බලාත්මක කර තිබේ. මෙම නව සංශෝධනයට අනුව, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණයකට ලක්වන ඕනෑම සැකකරුවෙකු තමන් සතු විද්‍යුත් උපාංගවල මුරපද (Passwords) හෝ ඒවායෙහි දත්ත කියවීමට අවශ්‍ය ක්‍රමවේදයන් පොලිසිය වෙත ලබාදීම අනිවාර්ය වේ. මෙම නියෝගය පැහැර හරින පුද්ගලයන්ට හොංකොං ඩොලර් 100,000ක දඩයක් සහ වසරක සිරදඬුවමක් නියම කිරීමට නව නීතිය මඟින් බලය පවරා ඇත.
මෙම සංශෝධනය මඟින් විද්‍යුත් උපාංග පරික්ෂා කිරීමට අමතරව තවත් දැඩි බලතල කිහිපයක් පොලිසිය සහ ආරක්ෂක අංශ වෙත ලබා දී තිබේ. ඒ අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි හෝ අපරාධ කිරීමට පෙළඹවිය හැකි විද්‍යුත් පණිවිඩ සහ අන්තර්ජාල අන්තර්ගතයන් ඉවත් කිරීමට නියෝග කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයාට හිමි වේ. එමෙන්ම සංචාරක ලේඛන භාරදීමට අදාළ අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සහ පරීක්ෂණ පවතින අතරතුර හොංකොං රාජ්‍යයෙන් පිටව යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පනවන දඬුවම් ද මෙමඟින් වඩාත් පැහැදිලි කර ඇත. රේගු නිලධාරීන්ට ද රාජකාරි කටයුතුවලදී දේශද්‍රෝහී අරමුණු සහිත අයිතම අත්අඩංගුවට ගැනීමට සහ ඒවා රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුගෙන් ඉල්ලීම් කිරීමට අලුතින් බලය පවරා තිබේ.
හොංකොං රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සංකීර්ණ භූ-දේශපාලනික අවදානම් හමුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වසර කිහිපයක අත්දැකීම් ඇසුරින් මෙම බලාත්මක කිරීමේ මෙවලම් පිරිපහදු කළ බවයි. මෙම වෙනස්කම් මානව හිමිකම් ප්‍රතිපාදනවලට අනුකූල වන බවත්, සාමාන්‍ය වැසියන්ගේ එදිනෙදා ජීවිතයට හෝ සංවිධානවල සාමාන්‍ය කටයුතුවලට මෙයින් බලපෑමක් නොවන බවත් බලධාරීහු අවධාරණය කරති. මෙම නව නීතිමය තත්ත්වය පිළිබඳව හෙට (24) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව දැනුවත් කිරීමට ද නියමිතය.














