හොරණ පොලිස් වසමට අයත් පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ඊයේ (20) සිදු වූ දරුණු රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පානදුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මියගිය පුද්ගලයා අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් කළ රියැදුරාගේ බිරිඳ ද බරපතල තුවාල ලබා මේ වන විට හොරණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ මාර්ගවල පවතින රථවාහන තදබදය සහ පීඩනය මධ්‍යයේ රිය පැදවීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.














