හොරණ, කුළුපන ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් මදුරාවල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය (ජාජබ) නියෝජනය කරන මන්ත්‍රීවරියකගේ සැමියා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ මන්ත්‍රීවරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මදුරාවල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ඩබ්ලිව්. ටී. ඩී. කුෂානි සංජුකා මහත්මිය සහ ඇයගේ සැමියා ගමන් කළ ත්‍රිරෝද රථය, ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ අඟුරුවාතොට, දොඹගොඩ පදිංචිව සිටි 42 හැවිරිදි එම්. චන්දික ප්‍රියරත්න මහතායි. ඔහු දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා සැරයන්වරයෙකු බව වාර්තා වේ.
අනතුර සිදු වූ වහාම දෙදෙනාම හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ ද, ඒ වන විටත් යුද හමුදා සැරයන්වරයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මන්ත්‍රීවරියගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. හොරණ පොලිසිය මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















