තම පුත්‍රයා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින්, එම නිල බලය මුවාවෙන් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ලැබූ කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළේය. මොරගහහේන, කුඹුක ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඉකුත් 09 වැනිදා සිදුකළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි. වැටලීම අවස්ථාවේදී ඇය නිවස පරීක්ෂා කිරීමට දැඩි විරෝධයක් දක්වමින් නිලධාරීන්ට බාධා කිරීමට උත්සාහ කර ඇති බව ද වාර්තා වේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම කාන්තාවගේ පුත්‍රයා පොලිස් නිලධාරියෙකු වීම හේතුවෙන් නිවස පරීක්ෂාවට ලක් නොවනු ඇතැයි යන විශ්වාසය මත එය මත්ද්‍රව්‍ය ගබඩා කරන ආරක්ෂිත ස්ථානයක් ලෙස භාවිතා කර ඇති බවයි. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයාට ලැබුණු රහස් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, කාන්තා පොලිස් නිලධාරිනියක ලවා සිදුකළ පරීක්ෂාවේදී සැකකාරිය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.














