2021 වසරේ සිදුවූ ඝාතනයක ප්‍රධාන ඇසින් දුටු සාක්ෂිකරු වූ, සඳුන් උදාර අල්විස් හෙවත් “හාවා” නමැත්තාගේ දේහය අද (06) පෙරවරුවේ හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය ඉදිරියේදී ගොඩගනු ලැබීය. හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ වළ දමා තිබූ මෙම දේහය ගොඩගැනීම සිදුකළේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් විසිනි.
“කුඩු සළිඳු” සහ “කුඩු නිලංග” යන සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව පවතින නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවා වූ මොහු, 2024 අගෝස්තු මස සිට අතුරුදන්ව සිටි බවට හිරණ පොලිසියට පැමිණිලි ලැබී තිබුණි. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිදුකළ දීර්ඝ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ අදාළ නඩුවේ සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතින අතර, ඔවුන් ලබාදුන් තොරතුරු මත සිරුර වළ දමා තිබූ ස්ථානය හඳුනා ගැනීමට පොලිසියට හැකි විය. අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා දේහය මේ වන විට යොමු කර තිබේ.














