හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ බෝඩිං කාමරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, සවලකින් පහරදී 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෝරුවදණ්ඩ, රත්මල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලියනගේ සෝමසිරි නමැති අයෙකි. ඔහු පසුගිය මාස පහක පමණ කාලයක සිට අදාළ බෝඩිං කාමරයේ තාවකාලිකව නවාතැන් ගෙන රැකියාවක නිරතව සිට ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, පසුගිය 20 වැනිදා සවස එම කාමරයේම පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකු සමඟ ඇති වූ ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී තිබේ. සවලකින් එල්ල වූ දරුණු පහරදීමෙන් තුවාල ලැබූ සෝමසිරි මහතා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිරිඇල්ල, අල්ලගාව ප්‍රදේශයේ පදිංචි සැකකරු හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට යොදාගත් සවල ද පොලිස් භාරයට ගෙන තිබේ.












