හබරණ සහ පලුගස්වැව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දශක ගණනාවක් පුරා දේශීය කැඩුම් බිඳුම් වෙදකම ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රකට පාරම්පරික වෛද්‍යවරයකු වූ සේනානායක මුදියාන්සේලාගේ කව්රාලලාගේ හේරත්හාමි වෙද මහතාගේ ගුණානුස්මරණය අද (මාර්තු 22) දිනට යෙදී තිබේ. 1920 වසරේ උපත ලබා 1988 වසරේදී අභාවප්‍රාප්ත වූ හේරත්හාමි වෙද මහතා, රාවණා යුගය දක්වා දිවයන පරම්පරා 30ක වෙද උරුමයක හිමිකරුවෙකි. එතුමාගේ දක්ෂ වෙදකම කොතරම් ප්‍රකට වූයේද යත්, ස්විට්සර්ලන්ත අග රැජිනගේ සිට මෙරට හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පවා හොරිවිල වෙද මැඳුරෙන් ප්‍රතිකාර ලබාගෙන හෝ සමීප සබඳතා පවත්වා ඇති අතර, හොරිවිල ග්‍රාමයට විදුලිය සහ දුම්රිය ස්ථානයක් පවා ලැබුණේ මෙම වෙදකම නිසා ඇති වූ ජනප්‍රියතාවය හේතුවෙනි.
වර්තමානයේ මෙම පිය උරුමය ඉදිරියට ගෙන යන ශාන්ත සෙනෙවිරත්න වෙද මහතා පවසන්නේ, තම පියා හුදෙක් වෛද්‍යවරයකු පමණක් නොව සොබාදහමට ලැදි උතුම් මිනිසෙකු වූ බවයි. බෙහෙත් සඳහා ගස්වල පොතු ලබාගැනීමේදී පවා ගස විනාශ නොවන පරිදි කටයුතු කිරීමට තම පියා උපදෙස් දුන් බව ඔහු සිහිපත් කරයි. කෙසේ වෙතත්, වර්තමානයේ “හොරිවිල” යන නාමය අවභාවිත කරමින් රට පුරා ව්‍යාජ වෙද මහත්වරුන් බිහිවීම පිළිබඳව ඔහු සිය කනගාටුව පළ කරයි. සැබෑ හොරිවිල වෙදකම හිමි පස්දෙනෙකුට පමණක් බවත්, ව්‍යාජ වෙද මහත්වරුන්ට හසු නොවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දේශීය හෙළ වෙදකම රැකගැනීම සඳහා රජයේ මැදිහත්වීමෙන් ඔසු පැළ වගා කිරීමේ වැඩපිළිවෙළක් සහ පාරම්පරික වෙදකම සුරැකීමේ විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව වත්මන් හොරිවිල වෙද පරපුර අවධාරණය කරයි. විශේෂයෙන්ම කොරෝනා වසංගතයෙන් පසු තරුණ පරම්පරාව අතර කොඳු නාරටිය සහ අස්ථි ආශ්‍රිත රෝගාබාධ ඉහළ ගොස් ඇති බැවින්, හෙළ වෙදකම ජාත්‍යන්තර මට්ටමට ප්‍රවර්ධනය කිරීම රටට කීර්තියක් මෙන්ම ආර්ථික වාසියක් ද වනු ඇත. දහස් ගණනක් රෝගීන් සුවපත් කළ හේරත්හාමි වෙද මහතාගේ මෙහෙවර අගයමින් අද දිනයේ පලුගස්වැව හෙළ වෙද ගෙදරදී විවිධ පින්කම් සහ සමාජ සේවා කටයුතු සංවිධානය කර තිබේ.














