හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය සියතට ගෙන ඇති ඉරානය යුද්ධය ආරම්භ වීමට පෙර පැවැති මට්ටමටත් වඩා වැඩි බොරතෙල් ප්‍රමාණයක් මේ වන විට අපනයනය කරමින් සිටින බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පත වාර්තා කරයි. කලාපයේ අනෙකුත් තෙල් නිෂ්පාදකයින්ට මෙම මුහුදු මාර්ගය අවහිර කරමින් ඔවුන්ව විකල්ප මාර්ග සෙවීමට බල කර ඇති පසුබිමක ඉරානය සිය තෙල් නැව්වලට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
සෞදි අරාබිය සහ ඉරාකය වැනි ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් සිය නිෂ්පාදන කටයුතු සීමා කිරීමටත් හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහැර යන නව මාර්ග සොයා ගැනීමටත් දැඩි උත්සාහයක නිරත වන නමුත් ඉරානය කිසිදු බාධාවකින් තොරව සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යන බව ටැංකි නැව් දත්ත මගින් තහවුරු වේ. ඕමාන් බොක්ක ආසන්නයේ සිය බලය පතුරුවා සිටින ඉරානය අනෙකුත් රටවල තෙල් නැව්වලට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටින අතර මෙය ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ ඉරානයට සුවිශේෂී දේශපාලනික සහ ආර්ථික වාසියක් ගෙන දී තිබේ.














