හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රා යොදවන ලෙස ඉරාන විප්ලවීය බළකාය (IRGC) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සෘජු අභියෝගයක් එල්ල කර තිබේ. “අවශ්‍ය වුවහොත් ඇමෙරිකානු නාවික හමුදාව යොදවා තෙල් නැව් ආරක්ෂිතව ගෙන යනවා” යැයි ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය බළකායේ ප්‍රකාශක අලිමොහොමඩ් නයිනි ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකානු හමුදාවල පැමිණීම තමන් දැඩි ලෙස අපේක්ෂා කරන බවයි. එසේම 1987 වසරේදී ඇමෙරිකානු ආරක්ෂාව යටතේ ගමන් කළ ‘බ්‍රිජ්ටන්’ නෞකාවට සිදු වූ විනාශය අමතක නොකරන ලෙස ද ඔහු ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.
පසුගිය සති අන්තයේ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා සිට මේ දක්වා හොර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අවම වශයෙන් නෞකා 9ක්වත් ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර, ඉන් නාවිකයන් කිහිපදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ හේතුවෙන් ඉරාන විප්ලවීය බළකාය විසින් මෙම උපායමාර්ගික ජල මාර්ගය හරහා ගමන් නොකරන ලෙස සියලු නෞකාවලට නියෝග කර ඇති අතර, එය උල්ලංඝනය කරන ඕනෑම නෞකාවක් මිසයිල ප්‍රහාරවලට ලක්වීමේ දැඩි අවදානමක් පවතී. ලෝක තෙල් ප්‍රවාහනයෙන් 20%කට අධික ප්‍රමාණයක් සිදුවන මෙම කලාපයේ නාවික ගමනාගමනය අඩාල වීම නිසා ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර බොරතෙල් මිල ද සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.














