යේමනයේ හූති (Houthi) සටන්කාමීන් 2026 මාර්තු 28 වනදා දකුණු ඊශ්‍රායලයේ යුදමය ඉලක්ක වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින් වත්මන් කලාපීය යුද්ධයට සෘජුවම අවතීර්ණ වී තිබේ. පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද මෙහෙයුම්වල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, හූති නායක අබ්දුල් මලික් අල්-හූති (Abdul-Malik al-Houthi) ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිසේත්ම මෙම ගැටුමේදී නිහඬව නොසිටින බවයි. විශේෂයෙන්ම අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ, රතු මුහුදේ පිහිටි උපායමාර්ගිකව වැදගත් බබ් එල්-මැන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය අවහිර කරන බවට ඔවුන් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.මෙම සමුද්‍ර සන්ධිය අවහිර වීම ලෝක ආර්ථිකයට එල්ල වන අතිදැවැන්ත බලපෑමක් වන්නේ, ලෝකයේ සමස්ත මුහුදු වෙළඳාමෙන් 14% ක් පමණ මෙම මාර්ගය හරහා සිදුවන බැවිනි. දැනටමත් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යුදමය තත්ත්වය හේතුවෙන් අවහිර වී පවතින පසුබිමක, බබ් එල්-මැන්ඩෙබ් ද වැසී ගියහොත් ගෝලීය බලශක්ති සැපයුම දැඩි අර්බුදයකට ලක්වනු ඇත. දිනකට බොරතෙල් බැරල් මිලියන 4 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන මෙම මාර්ගය අහිමි වීමෙන්, නෞකාවලට අප්‍රිකාව වටා සති කිහිපයක අමතර ගමනක යෙදීමට සිදුවන අතර, එමගින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ ගොස් ලෝක වෙළඳපොළේ ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යා හැකිය.
හූති සටන්කාමීන් තවදුරටත් අවධාරණය කරන්නේ අමෙරිකාවට හෝ ඊශ්‍රායලයට සහාය දක්වන ඕනෑම රටක් තම ප්‍රහාරක ඉලක්කයක් විය හැකි බවයි. මෙම තර්ජනය හමුවේ දැනටමත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙය හුදු කලාපීය ගැටුමකින් ඔබ්බට ගිය ගෝලීය ආර්ථික යුද්ධයක ආරම්භය බව විචාරකයෝ පවසති. මෙම “කඳුළු දොරටුව” (Gate of Tears) ලෙස හැඳින්වෙන සමුද්‍ර සන්ධිය අවට පවතින අස්ථාවරත්වය පාලනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව දැඩි වෙහෙසක් ගනිමින් සිටියද, යේමනයේ මෙම මැදිහත්වීම යුද්ධය තවදුරටත් සංකීර්ණ කිරීමට හේතු වී තිබේ
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්
















