ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක කාර්ලෝස් අල්කරාස් (Carlos Alcaraz) මියාමි විවෘත ටෙනිස් තරගාවලියේ (Miami Open) තෙවන වටයේදී අමෙරිකානු ක්‍රීඩක සෙබස්තියන් කෝඩා (Sebastian Korda) හමුවේ පරාජයට පත්ව තරගාවලියෙන් ඉවත් වී තිබේ. පැය දෙකයි විනාඩි 19ක් පුරා පැවති මෙම තියුණු තරගය 6-3, 5-7 සහ 6-4ක් ලෙස ජය ගැනීමට ලොව 36 වන ස්ථානයේ පසුවන කෝඩා සමත් විය.
වයස අවුරුදු 22ක් වන අල්කරාස් තරගයේ පළමු වටයේදී යම් පසුබෑමක් පෙන්නුම් කළද, දෙවන වටයේදී ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමින් එය ජය ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, තීරණාත්මක තෙවන වටයේදී 25 හැවිරිදි සෙබස්තියන් කෝඩා සිය දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කරමින් අල්කරාස් පරාජය කළ අතර, මෙය කෝඩා සිය ක්‍රීඩා ජීවිතය තුළ ලොව අංක එකේ ක්‍රීඩකයෙකු පරාජය කළ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
මෙම පරාජය පිළිබඳව අදහස් දක්වමින් අල්කරාස් සඳහන් කළේ තමන් සිය දක්ෂතා ක්‍රමයෙන් වර්ධනය කරගනිමින් සිටින බවත්, ඉදිරි මැටි පිටියේ (Clay-court) තරග වාරය සඳහා සූදානම් වන බවත්ය. මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජයගනිමින් සිය 7 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගත් අල්කරාස්, මියාමි තරගාවලියෙන් ඉවත් වුවද තවමත් ලොව ප්‍රමුඛතම ක්‍රීඩකයා ලෙස රැඳී සිටියි. ජයග්‍රාහී සෙබස්තියන් කෝඩා සිව්වන වටයේදී කරන් කචනොව් (Karen Khachanov) හෝ මාටින් ලැන්ඩලූස් (Martin Landaluce) සමඟ තරග වැදීමට නියමිතය.














