රජයේ ප්‍රධාන රෝහල්වල පොරොත්තු ලේඛනයන්හි සිටින අක්ෂි රෝගීන් ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් පසුගිය වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ කරන ලද “Gift of Vision” විශේෂ වැඩසටහනට වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ අදියරක් කොළඹ ජාතික අක්ෂි රෝහලේදී සාර්ථකව පැවැත්වුණි. ඇසේ සුද මතුවීම හේතුවෙන් පෙනීම අහිමි වූ රෝගීන් 1000ක් සඳහා ශල්‍යකර්ම සිදු කිරීමේ මෙම වැඩසටහන පසුගිය 21 වනදා ආරම්භ වූ අතර, එහි දෙවන දිනය වූ ඊයේ (22) එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම වැඩසටහන යටතේ පසුගිය වසර තුළ පමණක් 4000කට අධික අක්ෂි ශල්‍යකර්ම ප්‍රමාණයක් සිදු කර ඇති අතර, මෙය 2026 වර්ෂය තුළ පවත්වන ලද තෙවන වැඩසටහන ද වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙරටට බලපෑ දිට්වා සුළිකුණාටු තත්ත්වයන් මෙන්ම වර්තමානයේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන කිසිදු ලෙසකින් අඩු නොකරන බවයි. මෙරට සෞඛ්‍ය සේවාව ව්‍යුහාත්මකව විශාල පරිවර්තනයකට ලක් කරමින්, ආයතන කේන්ද්‍ර කරගත් සේවාවක සිට පුරවැසියා ඉලක්ක කරගත් ප්‍රශස්ත සේවාවක් බවට පත් කිරීමට රජය සැලසුම් කර ඇති බවද ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම පිළිකා, හෘද රෝග සහ අක්ෂි රෝග වැනි බෝ නොවන රෝග පාලනය කර ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සහ ජාතික අක්ෂි රෝහල එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ රෝගීන් වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච නොමිලේ ලබා දීම සිදු කෙරේ. මේ සඳහා එක්සත් රාජධානියේ Assist RR සංවිධානය සහ සිංහ සමාජය ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය හිමි වී ඇති අතර, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබා දෙයි.














