ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟවෙන පරිදි මෑතක සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පෝස්ට් එකක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය උපයෝගී කරගනිමින් මහජනතාවට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන ලෙස දන්වා ඇති මෙම පණිවිඩය, කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව එම නිවේදනය මඟින් දැඩිව අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම්, එය නිල වශයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන අතර නියමිත නිල ලිපි ශීර්ෂය යටතේ පමණක් මාධ්‍ය වෙත එම නිවේදන නිකුත් කරනු ලැබේ. මීට අමතරව පොලිසියේ නිල Facebook ගිණුම සහ YouTube නාලිකාව ඔස්සේ දෛනිකව නිල පණිවිඩ යාවත්කාලීන කරන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
පොලිස් ලාංඡනය හෝ නාමය භාවිතා කරමින් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක් දැයි සොයා බැලීම සඳහා දැනටමත් විශේෂ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මෙවැනි සටහන් සම්බන්ධයෙන් වඩාත් අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන ලෙසත්, එවැනි ව්‍යාජ පුවත් තහවුරු කර නොගෙන හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටින ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














