ලෝක ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම දේශගුණික අසමතුලිතතාවයට පෘථිවිය මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) අනතුරු අඟවයි. කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය පිට කරන තාපයට වඩා වැඩි ප්‍රමාණයක් උරාගැනීම නිසා මෙම “ශක්ති අසමතුලිතතාවය” (Energy Imbalance) හටගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ සාගර උණුසුම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වසරේ අගභාගයේදී ආරම්භ වීමට නියමිත “එල් නිනෝ” (El Niño) උණුසුම් අවධියත් සමඟ පෘථිවියේ උෂ්ණත්වය තවත් දරුණු ලෙස ඉහළ යා හැකි බවයි. 1850 වසරේ සිට වාර්තා වූ උණුසුම්ම වසර 11 ම පසුගිය වසර 11 තුළ වාර්තා වී ඇති අතර, 2025 වසරේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට වඩා 1.43°C කින් ඉහළ ගොස් තිබේ. පෘථිවිය සිය සීමාවන් ඉක්මවා ගොස් ඇති බැවින් වහාම පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.














