වසර 16ක් පුරා හංගේරියාවේ බලය හෙබවූ අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන්ගේ දේශපාලන ගමන්මග තීරණය කෙරෙන මහ මැතිවරණය අද (12) පැවැත්වේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකු සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි හිතවාදියෙකු වන ඕර්බන්ට එරෙහිව මෙවර පීටර් මැග්යාර්ගේ නායකත්වයෙන් යුත් ‘තිසා’ (Tisza) පක්ෂය ප්‍රබල අභියෝගයක් එල්ල කර ඇත. පසුගිය සති දෙක තුළ පවත්වන ලද මත විමසුම්වලට අනුව ඕර්බන්ගේ පක්ෂයට වඩා මැග්යාර්ගේ පක්ෂය 7% – 9% ක ප්‍රමාණයකින් ඉදිරියෙන් පසුවන බව වාර්තා වේ.
හංගේරියාවේ පවතින ආර්ථික එකතැන පල්වීම, ඉහළ යන ජීවන වියදම සහ දූෂණ චෝදනා හමුවේ ජනතාව ඕර්බන් පාලනය කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බව පෙනී යයි. විශේෂයෙන්ම වයස අවුරුදු 30ට අඩු තරුණ ප්‍රජාව අතර ඕර්බන්ගේ ජනප්‍රියතාවය 8%ක් තරම් අවම මට්ටමකට වැටී ඇති අතර, තරුණ ඡන්දදායකයින් රටේ අනාගතය වෙනුවෙන් වෙනසක් අපේක්ෂා කරයි. මේ තත්ත්වය සමනය කිරීමට ඕර්බන් රජය තරුණ සේවකයින්ගේ ආදායම් බදු ඉවත් කිරීම වැනි සහන ලබා දුන්න ද, විපක්ෂයේ ‘තිසා’ පක්ෂය කෙරෙහි ජනතා ආකර්ෂණය වැඩි වී තිබේ.
යුරෝපා සංගමය සහ යුක්රේනය මෙම මැතිවරණ ප්‍රතිඵලය දෙස ඉතා උනන්දුවෙන් බලා සිටී. ඕර්බන් පරාජය වුවහොත්, යුක්රේනයට ලබා දීමට නියමිත යුරෝ බිලියන 90ක ණය මුදලට පනවා ඇති බාධා ඉවත් වීමට ඉඩ පවතින අතර, එය රුසියාවට සිය සමීපතම යුරෝපීය මිතුරා අහිමි වීමක් ද වනු ඇත. දේශීය වේලාවෙන් උදෑසන 6ට (ග්‍රීනිච් වේලාවෙන් 04:00 ට) ආරම්භ වූ ඡන්ද විමසීම සවස 7 දක්වා පැවැත්වීමට නියමිතය.













