හංගේරියාවේ තීරණාත්මක මහා මැතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබියදී, වත්මන් අගමැති වික්ටර් ඔර්බාන්ගේ (Viktor Orbán) වසර 16ක අඛණ්ඩ පාලනය නිමා කිරීමේ අරමුණින් විපක්ෂ නායක පීටර් මැග්යාර් (Péter Magyar) සිය අවසන් මහා ප්‍රචාරක කටයුතු දැඩි උනන්දුවකින් සිදු කරමින් සිටී. මැතිවරණ සමීක්ෂණ රැසකින් මැග්යාර් ඉදිරියෙන් සිටින බව පෙන්නුම් කරන අතර, ඔහු සිය ආධාරකරුවන්ට පවසා ඇත්තේ තමන් විශිෂ්ට ජයග්‍රහණයක් අභියස සිටින බවයි.
සිකුරාදා රාත්‍රියේ බුඩාපෙස්ට් අගනුවර වීරයන්ගේ චතුරශ්‍රයට (Heroes’ Square) දසදහස් සංඛ්‍යාත ජනතාවක් රොක් වූයේ ඔර්බාන්ගේ පාලනයට එරෙහිව සංවිධානය කර තිබූ දැවැන්ත සංගීත ප්‍රසංගයකට සහ විරෝධතාවයකට සහභාගී වීම සඳහාය. ඔර්බාන්ගේ පාලනය යටතේ පැවති ‘ෆිඩෙස්’ (Fidesz) පක්ෂයේම හිටපු සාමාජිකයෙකු වන මැග්යාර්, මේ වන විට හංගේරියානු ජනතාව තුළ පවතින රාජ්‍ය විරෝධී රැල්ල තනි දේශපාලන බලවේගයක් ලෙස ඒකරාශී කිරීමට සමත්ව තිබේ.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් වත්මන් අගමැති ඔර්බාන් වෙත සිය සහයෝගය පළ කර ඇති අතර, ඔර්බාන් ජයග්‍රහණය කළහොත් හංගේරියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අමෙරිකාවේ පූර්ණ සහය ලබා දෙන බවට ට්‍රම්ප් පොරොන්දු වී තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීප මිතුරෙකු වන ඔර්බාන්ගේ පරාජය හෝ ජයග්‍රහණය යුරෝපා සංගමයේ සහ යුක්රේන යුද්ධයේ ඉදිරි ගමන කෙරෙහි ද තීරණාත්මක ලෙස බලපානු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.














