හංගේරියාව සහ යුක්රේනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ආරවුල දැඩි මුහුණුවරක් ගනිමින්, යුක්රේනය වෙත ලබාදෙන පෙට්‍රල් සහ ඩීසල් සැපයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orban) පියවර ගෙන තිබේ. රුසියාවේ සිට හංගේරියාවට සහ ස්ලෝවැකියාවට බොරතෙල් රැගෙන එන ප්‍රධාන නල මාර්ගයක් වන “ඩෘෂ්බා” (Druzhba) නල මාර්ගය අලුත්වැඩියා කිරීමට යුක්රේනය ප්‍රමාද කිරීම මෙම තීරණයට හේතුවී ඇත.
හංගේරියානු අගමැතිවරයා යුක්රේනයට චෝදනා කරන්නේ තෙල් සැපයුම හරහා යුක්රේනය තමන්ව “බෙලැක්මේල්” (Blackmail) කරන බවයි. නල මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් හංගේරියාව හරහා යුක්රේනයට ලැබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය ද නතර කරන බවට ඔහු අනතුරු ඇඟවීය. කෙසේ වෙතත්, රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් නල මාර්ගයට හානි සිදුව ඇති බවත්, එය අලුත්වැඩියා කිරීමට තවත් සති හතරක් හෝ හයක් ගතවන බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
තත්ත්වය තවදුරටත් උත්සන්න කළ “බැංකු සේවකයින්ගේ සිද්ධිය”
මෙම ආර්ථික ගැටුමට අමතරව, හංගේරියාව විසින් යුක්රේන රාජ්‍ය බැංකුවක (Oschadbank) සේවකයන් හත් දෙනෙකු මුදල් විශුද්ධිකරණ චෝදනා මත රඳවා තබා ගැනීම නිසා දෙරට අතර සබඳතා තවදුරටත් පළුදු වී ඇත. යුක්රේන විදේශ අමාත්‍යවරයා මෙය “රාජ්‍ය මට්ටමේ ත්‍රස්තවාදයක්” ලෙස හඳුන්වමින් සිය වැසියන්ට හංගේරියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබේ. අප්‍රේල් 12 වැනිදා පැවැත්වීමට නියමිත හංගේරියානු පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ මෙම දේශපාලන ගැටුම තවදුරටත් උග්‍ර වනු ඇතැයි විචාරකයෝ පවසති.














