1970 දශකයේදී වයඹදිග නිව් මෙක්සිකෝවෙන් හමුවූ දැවැන්ත පාදයක අස්ථියක් (Shinbone) පිළිබඳව සිදුකරන ලද නවතම විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත්තේ, එය ලොව ප්‍රකට ටිරන්නෝසෝරස් රෙක්ස් (T. rex) ගේ සමීපතම නෑයෙකුට අයත් බවයි. ක්‍රිටේසියස් යුගයට (වසර මිලියන 74කට පෙර) අයත් මෙම අස්ථිය, T. rex මිහිතලය මත පහළ වීමට වසර මිලියන කිහිපයකට පෙර විසූ සත්වයෙකුගේ බවත්, ඔහු T. rex ගේ ඍජු පූර්වජයෙකු වීමට වැඩි ඉඩක් ඇති බවත් පර්යේෂකයෝ පවසති.
සෙන්ටිමීටර 96ක් පමණ දිගින් යුත් මෙම අස්ථිය, චිකාගෝ කෞතුකාගාරයේ ඇති විශාලතම T. rex අස්ථියට සාපේක්ෂව 80%ක පමණ විශාලත්වයකින් යුක්ත වේ. මෙම අස්ථියේ හැඩය සහ ප්‍රමාණය අනුව පර්යේෂකයන් නිගමනය කර ඇත්තේ මෙම ඩයිනෝසෝරයා ටොන් 4.7ක් පමණ බරින් යුක්ත වන්නට ඇති බවයි. වසර මිලියන 67කට පෙර දර්ශනය වූ T. rex ගේ පරිණාමීය ගමන් මග තේරුම් ගැනීමට මෙම සොයා ගැනීම ඉතා වැදගත් වේ.
මෙම අස්ථිය හමුවූ ප්‍රදේශය අනුව පර්යේෂකයන් විසින් මෙම සත්වයා දැනට ‘Hunter Wash tyrannosaur’ ලෙස හඳුන්වනු ලබයි. තනි අස්ථියක් පමණක් හමුවී ඇති බැවින් විද්‍යාත්මක නාමයක් ලබා දීමට තොරතුරු ප්‍රමාණවත් නොවන නමුත්, එවකට නිව් මෙක්සිකෝ කලාපයේ විසූ දරුණු මස් අනුභව කරන්නෙකු පිළිබඳව වැදගත් සාක්ෂියක් මෙයින් ලැබී ඇත.














