කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ලොව පුරා ඉදිවන දැවැන්ත දත්ත මධ්‍යස්ථාන (Hyperscale Data Centres) මඟින් පිටවන අධික තාපය හේතුවෙන් ඒවා අවට පරිසර උෂ්ණත්වය බලාපොරොත්තු වූවාට වඩා වැඩි මට්ටමකින් ඉහළ යන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පසුගිය වසර 20ක කාලය තුළ දත්ත මධ්‍යස්ථාන 6,000කට අධික සංඛ්‍යාවක දත්ත විශ්ලේෂණය කරමින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
මෙම පර්යේෂණයට අනුව, දත්ත මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශවල මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 2කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල එය සෙල්සියස් අංශක 9ක් වැනි ඉතා ඉහළ අගයක් දක්වා වර්ධනය වී තිබේ. මෙම තාපය අදාළ මධ්‍යස්ථානවලට පමණක් සීමා නොවී, ඒවායේ සිට කිලෝමීටර් 9ක් (සැතපුම් 6.2ක්) පමණ දුරකට පැතිර යන බව ද සොයාගෙන ඇත. මෙලෙස උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාව පුරා වෙසෙන මිලියන 340කට අධික ජනතාවක් සෘජු බලපෑමට ලක්ව සිටිති.
විශේෂයෙන්ම මෙක්සිකෝවේ බාජියෝ (Bajio) සහ ස්පාඤ්ඤයේ ඇරගොන් (Aragon) වැනි ප්‍රදේශවල මෙලෙස අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යාම නිරීක්ෂණය වී තිබේ. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දත්ත මධ්‍යස්ථාන සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී කාබන් විමෝචනයට අමතරව මෙම “සෘජු තාපය” (Direct heat) අවම කර ගැනීම සඳහා නව උපායමාර්ගයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේ නොමැති වුවහොත් ඉදිරියේදී AI තාක්ෂණයේ වර්ධනයත් සමඟ සිදුවන දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්තිය සමාජයට සහ පරිසරයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.














