ශ්‍රී ලංකා රක්ෂණ සංගමය හෙවත් IASL ආයතනය විසින් සිය නිල වෙබ් අඩවිය වන www.iasl.lk නව මුහුණුවරකින් එළිදක්වන බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළා. වර්තමානයේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අවකාශය තුළ වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට, තොරතුරු ලබාගැනීම පහසු කිරීමට සහ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කිරීමට ඇති එම සංගමයේ කැපවීම මෙම නවීකරණය මඟින් තවදුරටත් ශක්තිමත් කෙරෙනවා. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වේගයෙන් ඩිජිටල්කරණයකට ලක්වෙමින් සහ රක්ෂණ සේවා ව්‍යාප්ත කිරීමේ අරමුණු කරා ගමන් කරමින් පවතින පසුබිමක, අනෙකුත් සාමාජික රක්ෂණ සමාගම්, රක්ෂණ ඔප්පුහිමියන්, නියාමන ආයතන සහ ආයතනික හවුල්කරුවන් යන සියලු දෙනාටම විශ්වාසනීය සහ පහසුවෙන් පිවිසිය හැකි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කිරීම මෙම වෙබ් අඩවියේ ප්‍රධානතම අරමුණයි.
පැහැදිලි බව, පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව සහ වැදගත් බව යන මූලික කරුණු තුන පදනම් කර ගනිමින් මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙනවා. එහි ඇති සරල බව සහ ජංගම දුරකථනවලට ගැළපෙන ආකර්ෂණීය සැලසුම නිසා ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය තොරතුරු ඉතා පහසුවෙන් සොයාගත හැකියි. රක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, නියාමන යාවත්කාලීන කිරීම් සහ සාමාජික සේවාවන් වැනි වැදගත් අංශ පිළිබඳ අන්තර්ගතයන් මෙහි දක්වා ඇති අතර, එම කරුණු වෘත්තිකයන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවටද එකසේ තේරුම් ගත හැකි සරල භාෂාවකින් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්. තවද තොරතුරු මධ්‍යස්ථානයක්, නිරන්තරයෙන් යාවත්කාලීන වන පුවත් අංශයක් සහ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණ (SEO) මෙවලම් භාවිත කිරීම හරහා මෙම වෙබ් අඩවිය සැමවිටම සක්‍රීය සහ කැපී පෙනෙන තොරතුරු මූලාශ්‍රයක් බවට පත් කර තිබෙනවා.
නව මුහුණුවරකින් එළිදක්වන ලද IASL වෙබ් අඩවිය පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති මෙන්ම HNB Assurance හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම වෙබ් අඩවිය රක්ෂණ සමාගම්, නියාමන ආයතන සහ තමන් සේවය කරන මහජනතාව එකට සම්බන්ධ කරන ප්‍රධානතම මධ්‍යස්ථානයක් බවයි. රක්ෂණ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකුට හෝ ප්‍රථම වරට රක්ෂණයක් මිලදී ගන්නෙකුට වුවද තමන්ට අවශ්‍ය තොරතුරු මෙහිදී ඉතාම පහසුවෙන් සොයා ගැනීමට අවස්ථාව සලසා ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. තොරතුරු සන්නිවේදනය කරන ආකාරය සහ අදාළ පාර්ශ්වයන්ට එම තොරතුරු කෙතරම් පහසුවෙන් ලබාගත හැකිද යන කරුණ මහජන විශ්වාසය ගොඩනැගීමට බෙහෙවින් වැදගත් වන බවත්, රක්ෂණ ක්ෂේත්‍රය වඩාත් විනිවිදභාවයකින් සහ වගකීමකින් යුතුව පවත්වා ගැනීමට IASL දක්වන කැපවීමේ තවත් එක් පියවරක් ලෙස මෙම වෙබ් අඩවිය හඳුන්වා දිය හැකි බවත් සභාපතිවරයා පවසා සිටියා.
මෙම වෙබ් අඩවිය නවීකරණය කිරීම හරහා ශක්තිමත් සන්නාමකරණයක් සහ ස්ථාවර සැලසුමක් සහිතව IASL හට වඩාත් සුවිශේෂී පෙනුමක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සමඟ පවතින සහයෝගීතාවය, රක්ෂණ ඔම්බුඩ්ස්මන් ක්‍රමය (Insurance Ombudsman Scheme) පිහිටුවීමට ලබාදුන් දායකත්වය සහ රට පුරා සිටින රක්ෂණ ඔප්පුහිමියන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට ඉටුකරන කාර්යභාරය ඇතුළු සංගමයේ සමස්ත ක්‍රියාවලියම මෙහිදී එකම ස්ථානයකින් පහසුවෙන් ලබාගත හැකියි. මේ අනුව සංගමයේ සියලුම සාමාජික සමාගම්වලට, කර්මාන්ත හවුල්කරුවන්ට, රක්ෂණ ඔප්පුහිමියන්ට සහ මහජනතාවට www.iasl.lk ඔස්සේ මෙම නවීන වෙබ් අඩවියට පිවිසීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා.














