2022 වසරේ සැප්තැම්බර් මාසයේදී කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා නායක ඉබ්‍රාහිම් ට්‍රෝරේ (Ibrahim Traore), එරට වැසියන්ට “ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව අමතක කරන ලෙස” ඊයේ (02) රාත්‍රියේ රජයේ රූපවාහිනිය ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. “ප්‍රජාතන්ත්‍රවාදය මාරාන්තිකයි” (Democracy kills) සහ “ප්‍රජාතන්ත්‍රවාදය අපට ගැළපෙන්නේ නැහැ” යනුවෙන් ඔහු එහිදී අවධාරණය කළේ, තමා දිගුකාලීනව බලයේ රැඳී සිටින බවට ඉඟි කරමිනි.
මුලින් 2024 වසරේදී මැතිවරණයක් පවත්වන බවට පොරොන්දු වී සිටියද, අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය (IS) සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම්වල තර්ජන හමුවේ රට ආරක්ෂිත වන තෙක් මැතිවරණ නොපවත්වන බව ඔහු මීට පෙර පවසා තිබුණි. ලිබියාව වැනි රටවලට පිටස්තර පුද්ගලයන් ප්‍රජාතන්ත්‍රවාදය බලෙන් පැටවීමට උත්සාහ කිරීමෙන් සිදුවූ විනාශය උදාහරණ ලෙස පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, තම පාලනය මේ වන විට වෙනත් අභියෝග කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
පසුගිය ජනවාරි මාසයේදී බුර්කිනා ෆාසෝ රජය විසින් එරට පැවති සියලුම දේශපාලන පක්ෂ විසුරුවා හැරීමට පියවර ගත් අතර, ඊට පෙර දේශපාලන ක්‍රියාකාරකම් ද තහනම් කර තිබුණි. කුමන්ත්‍රණයට පෙර එරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 100 කට අධික සංඛ්‍යාවක් පැවති අතර, ඉබ්‍රාහිම් ට්‍රෝරේගේ මෙම ප්‍රකාශයත් සමඟ එරට ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සිය දැඩි කනස්සල්ල පළ කරමින් සිටී.














