මානව වර්ගයාට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබේදැයි තීරණය කෙරෙන සිව් දින විශේෂ විභාගය අද (23) නෙදර්ලන්තයේ හේග් නුවරදී ආරම්භ වේ. 80 හැවිරිදි වියේ පසුවන දුතර්තේ දැනට හේග් නුවර රැඳවුම් මධ්‍යස්ථානයක පසුවුවද, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව විනිසුරුවරුන් තීන්දු කර ඇත.
ඔහුගේ පාලන සමයේ ක්‍රියාත්මක වූ “මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය” (War on Drugs) තුළදී සිදුවූ බව කියන ඝාතන සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. 2013 සහ 2018 අතර කාලයේදී ඔහු දාවෝ නගරාධිපතිවරයා ලෙස සිටියදී සහ පසුව ජනාධිපතිවරයා ලෙස සිටියදී සිදුවූ බව කියන මිනීමැරුම් 76ක් සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා තුනක් ඔහුට එරෙහිව ගොනු කර ඇත. කෙසේ වෙතත්, ඔහුගේ මෙම මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් නිසා සමස්තයක් ලෙස පුද්ගලයන් 30,000ක් පමණ මිය ගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන දුතර්තේ, මෙම අධිකරණ බලය පිළිනොගන්නා බවත් සිය පාලන කාලය පිළිබඳව තමන් ආඩම්බර වන බවත් අවධාරණය කර සිටියි.















