විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට තවත් මාස තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, අද (10) නිකුත් වූ නවතම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් තරු කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් ඉදිරියට පැමිණ තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලැබූ ඓතිහාසික විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු හසිනි පෙරේරා ස්ථාන 15කින් ඉදිරියට පැමිණ පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි ස්ථානයට පත්ව ඇති අතර, තරුණ ක්‍රීඩිකා ඉමේෂා දුලානි ස්ථාන 17ක් ඉදිරියට පැමිණ 72 වැනි ස්ථානය දිනාගෙන තිබේ. තුන් ඉරියව් ක්‍රීඩිකා කවිෂා දිල්හාරි පන්දු යැවීමේ අංශයෙන් 21 වැනි ස්ථානයටත්, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 11 වැනි ස්ථානයටත් පත්වෙමින් සිය දක්ෂතා ස්ථාවර කරගෙන ඇත. මේ අතර, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් නවසීලන්ත ක්‍රීඩිකාවන් රැසක් ද සිය ස්ථාන වර්ධනය කරගෙන තිබේ.













