දකුණු ලෙබනනයේ ගම්මාන සහ නගර 53ක පදිංචිකරුවන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබේ. හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමඟ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා ඇත්තේ ගම්මානවලින් අවම වශයෙන් මීටර් 1,000ක් දුරින් පිහිටි විවෘත ප්‍රදේශ කරා යන ලෙසයි. හිස්බුල්ලා සාමාජිකයන් හෝ ඔවුන්ගේ හමුදා වත්කම් අසල රැඳී සිටින ඕනෑම අයෙකුගේ ජීවිත අවදානමට ලක්වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම නියෝගයත් සමඟ දකුණු ලෙබනනයේ ටයර් කලාපයේ සිට බේරූට් සහ උතුරු ලෙබනනය දෙසට ජනතාව විශාල වශයෙන් සංක්‍රමණය වීම ආරම්භ වී ඇත. මේ හේතුවෙන් බේරූට් සහ සීදොන් නගරවල දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයේ හයිෆා අසල හමුදා කඳවුරකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ. ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල ජෙට් යානා බේරූට් අගනුවර වෙත දරුණු ලෙස බෝම්බ හෙළා ඇත.















