ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු ලෙස සැලකෙන සමන්ත කුමාර පෙරේරා හෙවත් ‘අයි.ඩී.එච්. සුද්දා’ ට එරෙහිව පවරා ඇති නඩුවක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නඩු කටයුතු අවසන් වූ පසුව ද සැකකරු අධිකරණ ශාලාවේ අසුන් ගන්වා තැබීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කිරීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සිය අප්‍රසාදය පළ කළේය. සැකකරු වහාම බන්ධනාගාර සිර මැදිරිය වෙත රැගෙන යන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට එහිදී නියෝග කෙරිණි.
දිවා කාලයේ නිවාස බිඳීම, නීතිවිරෝධී ගිනි අවි සහ උණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබුණි. නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසන්න කුමාර මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් සාක්ෂි කූඩුවට පැමිණ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවයි. ඒ අනුව වැඩිදුර විභාගය සඳහා නඩුව මැයි මස 25 වනදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වී කොළඹ මහාධිකරණය මඟින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින අයි.ඩී.එච්. සුද්දා, අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ විශේෂ බන්ධනාගාර ආරක්ෂාවක් යටතේය. අධිකරණ ශාලාව තුළ පැය කිහිපයක් තිස්සේ ඔහු අසුන් ගන්වා තැබීම හේතුවෙන් ශාලාව තුළ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙනු දක්නට ලැබුණි.














