මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වී ඇති දැඩි බලපෑම සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය (IEA) අද (03) සිය සාමාජික රටවල හදිසි රැස්වීමක් කැඳවා තිබේ. ඉරාන ගැටුම් ආරම්භ වීමත් සමඟ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල වසර එකහමාරකට පසු ඉහළම අගය වන ඇමරිකානු ඩොලර් 85.12 දක්වා ඉහළ ගොස් ඇති අතර, ගැටුම් දිගින් දිගටම පැවතුනහොත් එය ඩොලර් 100 සීමාව ඉක්මවා යනු ඇති බවට ජේ.පී මෝගන් (J.P. Morgan) වැනි ප්‍රමුඛ ආයතන අනාවැකි පළ කරයි.
ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක් ගලා යන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඉරානය විසින් සිව්වන දිනටත් වසා දමා ඇති අතර, එම මාර්ගය භාවිත කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා ඇත. මෙම තත්ත්වය හමුවේ ඉරාකයට පවා සිය දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 3කින් කප්පාදු කිරීමට සිදුවනු ඇති බව වාර්තා වේ. ගෝලීය බලශක්ති සැපයුම් ජාලය අඩාල වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආනයනික ඉන්ධන මත යැපෙන රටවලට ඉදිරි දිනවලදී දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.














