ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද විශේෂ අධ්‍යයන සංචාරයක් හරහා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ඉන්දියාවේදී සුවිශේෂී ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමට කටයුතු කර තිබේ. පෙබරවාරි 14 සිට 18 දක්වා දිල්ලි නුවර ඉන්දියා එක්ස්පෝ සෙන්ටර් හි පැවති 61 වැනි IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය (IHGF Delhi Fair Spring 2026) සඳහා මෙරට තෑගි භාණ්ඩ සහ ජීවන රටා නිෂ්පාදන (Giftware & Lifestyle Products) ක්ෂේත්‍රයේ නිරත සමාගම්වල නියෝජිතයින් ඇතුළු 19 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණාත්මක දක්ෂතා අපනයන වෙළඳපොළ වෙත යොමු කිරීමේදී මෙම ක්ෂේත්‍රය ඉතා වැදගත් වේ. එහෙත්, ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවණතා පිළිබඳ අවබෝධය අඩුකම, නවීන මෝස්තර නිර්මාණය කිරීමේ දුර්වලතා සහ තාක්ෂණික දැනුම මදිවීම හේතුවෙන් මෙරට ව්‍යවසායකයින්ට ගෝලීය වෙළඳපොළට පිවිසීමේ බාධාවන් පැවතුණි. මෙම අධ්‍යයන සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ එම දැනුම පරතරය අවම කරමින්, ඉන්දියානු නිෂ්පාදකයින් සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම නවීන වෙළඳපොළ අවශ්‍යතා අනුව හැඩගස්වා ඇති ආකාරය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමයි.
දිල්ලි ප්‍රදර්ශනයෙන් අනතුරුව, මුම්බායි හිදී විශේෂිත ව්‍යාපාරික ජාලකරණ වැඩසටහන් මාලාවක් ද පවත්වන ලදී. එහිදී මුම්බායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය (WTC Mumbai) සහ මහාරාෂ්ට්‍ර වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය (MACCIA) වැනි ප්‍රමුඛ පෙළේ ආයතන සමඟ සම්බන්ධ වෙමින් නව වෙළඳ අවස්ථා ගවේෂණය කිරීමට ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ට අවස්ථාව ලැබුණි. මීට අමතරව ඉන්දියාවේ හස්ත කර්මාන්ත නිෂ්පාදන මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම හරහා තිරසාර නිෂ්පාදන ක්‍රම සහ ඇසුරුම්කරණ තාක්ෂණය පිළිබඳව ද ඔවුහු පුළුල් දැනුමක් ලබා ගත්හ. මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ සුවිශේෂී හස්ත කර්මාන්ත නිෂ්පාදන ගෝලීය වශයෙන් තරඟකාරී අගය එකතු කළ අපනයන භාණ්ඩ ලෙස පරිවර්තනය කිරීමට රජය අපේක්ෂා කරයි.
















