රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් විසින් සිය ගමන් මලු තුළ සූක්ෂ්ම ලෙස සඟවාගෙන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශීය නිෂ්පාදිත දුම්වැටි 86,800ක් අඩංගු දුම්වැටි කාටූන් 434ක් සහ විද්‍යුත් දුම්වැටි (E-cigarettes) 30ක් තිබී සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මොවුන් දෙදෙනා අද අලුයම 12.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-648 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව අනාවරණය විය.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ දුම්වැටි තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ. නීතිවිරෝධී ලෙස දුම්වැටි ආනයනය කිරීම හරහා රජයට අහිමි වන බදු ආදායම වැළැක්වීමට රේගු දෙපාර්තමේන්තුව සිය මෙහෙයුම් දැඩි කර ඇත.














