බලපත්‍ර නොමැතිව රහසිගතව ගිනි අවි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සහෝදරයින් දෙදෙනෙකු සූරියවැව, වැවේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) සවස් කාලයේ සිදුකළ මෙම වැටලීමේදී, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 සහ 40 වයස්වල පසුවන සූරියවැව වැවේගම සහ වැලිආර පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මෙම සැකකරුවන් කලක් තිස්සේ කම්හලක් පවත්වාගෙන යමින් විවිධ වර්ගයේ ගිනි අවි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ නිරතව සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම වැටලීමේදී පොලිස් භාරයට ගත් දේපළ අතර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3400ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි ගිනි අවි දෙකක් සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා උපාංග කිහිපයක් ද වේ. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් මීට පෙර ගිනි අවි හතරක් අලෙවි කර ඇති බවට පාපොච්චාරණය කර ඇති අතර, ඒ අනුව එම ගිනි අවි මිලදී ගත් පුද්ගලයන් සොයා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගම මහතාගේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














