නිසි බලපත්‍රයක් නොමැතිව රුපියල් ලක්ෂ 23ක් පමණ වටිනා රජයේ අනුමත මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සහ සැකකරුවෙකු කොළඹ, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සුරාබදු දීපව්‍යප්ත විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබේ. ඊයේ රාත්‍රියේ ගංගාරාම මාවත අසලදී මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයට මිලිලීටර් 750 වර්ගයේ ඕල්ඩ් ඇරක් (Old Arrack) බෝතල් 420ක් සහ ඩ්‍රයිජින් (Dry Gin) බෝතල් 60ක් ඇතුළත් වූ බව සුරාබදු නිලධාරීන් පවසයි. මෙම සමස්ත මත්පැන් තොගය මිලිලීටර් 3,60,000ක් බව වාර්තා වේ. සුරාබදු නියාමක කුඹලාතර මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සැලසුම් කර තිබුණි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ ප්‍රේමරත්න මහතාගේ නියෝග මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස රාජපක්ෂ සහ අධිකාරි ජී. හේමන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සාර්ථක වැටලීම සිදු කළහ. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.













