වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සිය ප්‍රසාදය පළ කර තිබේ. අද (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ එම නියෝජිත පිරිස, විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
විශේෂයෙන්ම ආදායම් කළමනාකරණය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම හරහා මෙරට ආර්ථිකය වඩාත් ඔරොත්තු දෙන මට්ටමකට පත්ව ඇති බව IMF නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බලශක්ති සැපයුමට සහ ඉන්ධන මිලට එල්ල වී ඇති බාහිර අභියෝග කළමනාකරණය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ද ඔවුන්ගේ ඇගයීමට ලක් විය.
මෙම හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














