මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් දැඩි ආර්ථික බලපෑමකට ලක්ව ඇති රටවල් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 20ත් 50ත් අතර හදිසි මූල්‍ය ආධාර ප්‍රමාණයක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානම් වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එක්ව වොෂින්ටනයේ පවත්වනු ලබන වාර්ෂික වසන්ත හමුව (Spring Meetings) ආරම්භ කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මේ බව ප්‍රකාශ කළාය. පවතින සටන් විරාමය ස්ථාවරව පැවතුණහොත් මෙම මූල්‍ය ආධාර අවශ්‍යතාව අඩු මට්ටමක පවතිනු ඇති බවත්, එසේ නොමැති වුවහොත් ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යා හැකි බවත් ඇය අවධාරණය කළාය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන් අඩාල වීම සහ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ලොව පුරා අවම වශයෙන් මිලියන 45ක පමණ ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කරයි. සටන් විරාමයක් පැවතිය ද, ලෝක ආර්ථිකය යුද්ධයට පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට කඩිනමින් පත් නොවනු ඇති බවත්, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා දුප්පත් රටවල් තවදුරටත් දැඩි පීඩනයකට ලක්වනු ඇති බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.














