ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික ගමන්මග පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) මහත්මිය සිය ප්‍රසාදය පළ කර තිබේ. ඇය සඳහන් කර ඇත්තේ, “පළමු වරට ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් ගොඩනැගී ඇති” බව තමන් විශ්වාස කරන බවයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරය අතරතුර ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී ඇය වැඩිදුරටත් අවධාරණය කළේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන ඇති පියවර මෙන්ම ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව වැනි ස්වභාවික විපත් හමුවේ රජය දැක්වූ කඩිනම් ප්‍රතිචාරය ද ඉහළ මට්ටමක පවතින බවයි.
ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතිය ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සහ ණය හිමියන්ගේ විශ්වාසය දිනා ගැනීමට මහඟු පිටුවහලක් වන බව ඇය පෙන්වා දුන්නාය. උද්ධමනය 70% සිට 2% දක්වා පහත වැටීම සහ ආර්ථික වර්ධනය ධන අගයක් දක්වා පැමිණීම මෙරට ආර්ථික පුනර්ජීවනයේ කැපී පෙනෙන ලක්ෂණ බව ද IMF ප්‍රධානීවරිය මෙහිදී සඳහන් කළාය.














