මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවත්, බලශක්ති සුරක්ෂිතතාව ලොව ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි. ජපාන මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
ජෝර්ජියේවා මහත්මිය පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල 10% කින් ඉහළ ගොස් එය වසරේ වැඩි කාලයක් පැවතුනහොත්, ගෝලීය උද්ධමනය පදනම් අංක 40 කින් (40-basis-point) එනම් 0.4% කින් පමණ ඉහළ යා හැකි බවයි. “නොසිතන දේ ගැන සිතා ඒ සඳහා සූදානම් වන්න” යැයි ඇය ලොව පුරා ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපදෙස් දුන් අතර, මැදපෙරදිග නව ගැටුම් හමුවේ ලෝක ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව යළිත් වරක් පරීක්ෂාවට ලක්වෙමින් පවතින බව ද අවධාරණය කළාය.














