ඉන්දියාවේ නව දිල්ලි නුවර හෝලි උත්සවය පැවැති පසුගිය මාර්තු 04 වනදා ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 26 හැවිරිදි තරුණ පිරිමි පුද්ගලයෙකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් උත්තම් නගර් ප්‍රදේශයේ අද (07) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. තරුණයාගේ මරණයට වගකිව යුතු පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් බජ්රන්ග් දාල් (Bajrang Dal) සහ විශ්ව හින්දු පරිෂද් (VHP) සංවිධානවල සාමාජිකයන් විශාල පිරිසක් වීදි බැස විරෝධතාවල නිරත වෙති.
විරෝධතාකරුවන් විසින් ප්‍රදේශයේ මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනි තබා ඇති අතර, පැය කිහිපයක් යනතුරු ප්‍රධාන මාර්ග අවහිර කරමින් ගමනාගමනයට බාධා පමුණුවා ඇත. මියගිය තරුණයාගේ පියා විසින් පොලිසිය ඉදිරිපිට සංවිධානය කළ විරෝධතාවයට සහය පළ කිරීමට දහස් සංඛ්‍යාත පිරිසක් එක්වීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විශාල වශයෙන් එම ප්‍රදේශයට කැඳවා තිබේ.
අසල්වැසියන් පිරිසක් සමඟ ඇති වූ සුළු බහින්බස්වීමක් අවසානයේ මෙලෙස දරුණු ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිල්ලි පොලිසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත. මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ ආගමික සහ වාර්ගික සමගිය ආරක්ෂා කිරීම සඳහා 144 නියෝගය පැනවීමට ද ඉඩ ඇති බව වාර්තා වේ.














