කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයේ වර්ධනයත් සමඟ ලෝකය හමුවේ මතු වී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරෙන ‘India AI Impact Summit 2026’ සමුළුව අද ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ආරම්භ විය. දින පහක් පුරා පැවැත්වෙන මෙම සුවිශේෂී සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. විශේෂයෙන්ම AI තාක්ෂණය හේතුවෙන් සිදුවිය හැකි රැකියා අහිමිවීම් සහ ළමා ආරක්ෂාවට එල්ල වන තර්ජන වැනි ගෝලීය ගැටලු මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කෙරේ.
මෙම සමුළුවේ මූලික අරමුණ වන්නේ කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වූ “පොදු ගෝලීය මාර්ග සිතියමක්” (Shared Roadmap) ප්‍රකාශයට පත් කිරීමයි. මේ මස 20 වනදා දක්වා පැවැත්වෙන මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයින් ඇතුළු ලොව පුරා ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටිති.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමාරයා ඇතුළු රාජ්‍ය නායකයින් මෙන්ම තවත් රටවල් 45කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. මීට අමතරව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, කෘත්‍රිම බුද්ධිය මානුෂීය අයිතිවාසිකම්වලට හානියක් නොවන සේ ප්‍රවර්ධනය කිරීමට නව මාවතක් විවර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














