නවදිල්ලියේ භාරත් මණ්ඩපම් (Bharat Mandapam) පරිශ්‍රයේ පැවැත්වෙන India AI Impact Summit 2026 සමුළුවේ ප්‍රදර්ශන අංශය (Expo) කෙරෙහි මහජනතාව දක්වන ඉහළ උනන්දුව සැලකිල්ලට ගෙන එය එළඹෙන සෙනසුරාදා (21) දක්වා තවත් දිනකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය අද (18) තීරණය කළේය.
මෙම සමුළුවට අදාළ වැදගත් තොරතුරු කිහිපයක් මෙසේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට (19) පෙබරවාරි පෙරවරු 10.00 ට මෙම සමුළුව නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. සමාරම්භක උත්සවය හේතුවෙන් ප්‍රභූවරුන් රැසක් සහභාගී වන බැවින් හෙට දිනයේදී මෙම ප්‍රදර්ශන භූමිය සහ සැසිවාර මහජනතාව සඳහා විවෘත නොවන බව ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය දන්වා සිටී. මහජනතාවට ප්‍රදර්ශනය නැරඹීම සඳහා පෙබරවාරි 20 සහ 21 යන දින දෙක වෙන් කර ඇත.
සමාරම්භක අවස්ථාවට රාජ්‍ය නායකයන් 20කට අධික පිරිසක් සහ රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. මෙහිදී මුකේෂ් අම්බානි, සෑම් ඇල්ට්මන් (OpenAI), ඩෙමිස් හසබිස් (Google DeepMind) සහ බිල් ගේට්ස් වැනි ගෝලීය තාක්ෂණික දැවැන්තයන් විශේෂ දේශන පැවැත්වීමට නියමිත අතර එම සැසිවාර යූටියුබ් (YouTube) ඔස්සේ සජීවීව නැරඹීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.
මීට අමතරව, ‘India AI Mission’ වැඩසටහන ඉන්ටෙල් (Intel) සමාගම සමඟ එක්ව වගකීම් සහගත AI භාවිතය පිළිබඳව පැය 24ක් තුළ වැඩිම ප්‍රතිඥා ලබා ගැනීමේ ගිනස් ලෝක වාර්තාව ද අද දින පිහිටුවා ඇත. එහිදී එක් පැයක් වැනි කෙටි කාලයක් තුළ 250,000කට අධික ප්‍රතිඥා සංඛ්‍යාවක් ලබා ගැනීමට ඔවුන් සමත්ව තිබීම විශේෂත්වයකි.














