යුක්රේන ජාතිකයන් 3,000කට අධික පිරිසක් ඉන්දියාවේ ඊසානදිග කලාපයට ඇතුළු වී කැරලිකාර කණ්ඩායම් පුහුණු කරන බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය (Fake) බව ඉන්දීය රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකානු කුලී හේවායන්ගේ සහාය ඇතිව මොවුන් ත්‍රස්තවාදීන්ට ලාභදායී ඩ්‍රෝන තාක්ෂණය සපයන බවට එල්ල වූ චෝදනා රජය විසින් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත.
නීතිවිරෝධී ලෙස මිසෝරාම් හරහා මියන්මාරයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් 7 දෙනෙකු (යුක්රේන ජාතිකයන් 6ක් සහ එක් ඇමෙරිකානු ජාතිකයෙක්) ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් සංචාරක වීසා මත ඉන්දියාවට පැමිණ අවසරයකින් තොරව සීමා සහිත කලාපවලට ඇතුළු වී ඇති බව හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර මැතිව් ආරොන් වැන්ඩයික් (Matthew Aaron VanDyke) නමැති ප්‍රකට ඇමෙරිකානු ආරක්ෂක විශ්ලේෂකයෙකු ද සිටින අතර ඔහු ලිබියානු විප්ලවයට සම්බන්ධ වූවෙකු ලෙස තමන්ව හඳුන්වා දෙයි. මොවුන් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායම් සඳහා ඩ්‍රෝන යුද ශිල්පය සහ ජෑමර් තාක්ෂණය (Jamming Technology) පිළිබඳ පුහුණුව ලබා දීමට සැලසුම් කර තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාර්තු 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙවැනි නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව එරට ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවේ.














