මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්දියාවේ බාස්මතී සහල් අපනයන ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ සමස්ත බාස්මතී සහල් අපනයනයෙන් 50%ක් පමණ සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල් පහ වෙත සිදුකරන බැවින් මෙම තත්ත්වය එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
ඉරානය සහ එමීර් රාජ්‍යය ඉලක්ක කරගත් ප්‍රහාර හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ වාරික (Insurance premiums) ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඉන්දීය සහල් අපනයනකරුවන්ගේ සම්මේලනය (IREF) අනතුරු අඟවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට බාධා ඇතිවීම නිසා නැව් සමාගම් සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.
අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ගෙවීම් ප්‍රමාද වීම සහ භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යාමයි. පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්ත මෙමගින් වැඩිම බලපෑමට ලක්ව ඇති අතර, ඉන්දියාවේ සමස්ත බාස්මතී අපනයනයෙන් 75%ක්ම දායකත්වය සපයන්නේ මෙම ප්‍රාන්ත දෙකයි. යුද්ධය දිගු වුවහොත් සහල් තොග ගොඩගැසීම නිසා මිල පහත වැටී ගොවීන්ට දැඩි පාඩු සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය මාසය තුළ බාස්මතී සහල් තොග මිල 10-15%කින් පමණ දැනටමත් ඉහළ ගොස් ඇති අතර, ඉදිරි දිනවලදී වෙළෙඳපොළ තවදුරටත් අස්ථාවර වනු ඇත.















