කැනඩා පුරවැසියෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට චෝදනා එල්ල වී ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණගැසීමෙන් අනතුරුව, ඉන්දියාව විසින් කැනඩාවට එල්ල කරන මැදිහත්වීම් තවදුරටත් තර්ජනයක්ද යන්න පැහැදිලි කරන ලෙස කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) වෙත එරටින් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. නවදිල්ලියේ පැවති සිව්දින වෙළඳ සංචාරය අවසන් කරමින් කාර්නි ප්‍රකාශ කළේ “අපි එකම පවුලක්” යනුවෙනි. දෙරට අතර සබඳතා යළි ස්ථාපිත කිරීමේ අරමුණින් සිදුකළ මෙම සංචාරයේදී ඩොලර් බිලියන 2.6ක යුරේනියම් ගනුදෙනුවක් ඇතුළු අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තබා ඇත.
2023 වසරේදී සික් ක්‍රියාකාරිකයෙකු වූ හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීමට ඉන්දීය රජය සම්බන්ධ බවට එල්ල වූ චෝදනා හමුවේ දෙරට අතර සබඳතා බිඳ වැටී තිබුණි. මෙම සංචාරයට පෙර කැනඩා රජයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවෙන් එල්ල වූ තර්ජන දැන් අවසන් වී ඇති බවට රජය විශ්වාස කරන බවයි. කෙසේ වෙතත්, කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද් එම ප්‍රකාශය අනුමත නොකළ අතර, සික් ක්‍රියාකාරිකයන් පවසන්නේ තවමත් තමන්ට ඉන්දියාවෙන් මරණ තර්ජන එල්ල වන බවයි.
අග්‍රාමාත්‍ය කාර්නි සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව ද අවලංගු කළ අතර, එය විවේචකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. ඉන්දියාවේ මැදිහත්වීම් අවසන් වී ඇති බවට රජය පවසන පදනම කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති. ලිිබරල් පක්ෂයේම මන්ත්‍රීවරියක වන රූබි සහෝටා ප්‍රකාශ කළේ මෙම තර්ජන විසඳී ඇති බවට කරන ප්‍රකාශයන් කැනඩාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබිඹු නොකරන බවයි. ආරක්ෂක ගැටලුවලට වඩා වෙළඳාමට ප්‍රමුඛතාවය දීම පිළිබඳව කැනඩාව තුළ දැන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














