ඇමරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින දරුණු ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය මධ්‍යම ද්විතීයික අධ්‍යාපන මණ්ඩලයේ (CBSE) 12 වන ශ්‍රේණියේ විභාග සියල්ල අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. බහරේනය, ඉරානය, කුවේටය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල පිහිටි CBSE අනුබද්ධ පාසල් 150කට අධික සංඛ්‍යාවක සිසුන් දහස් ගණනකට මෙම තීරණය බලපානු ඇත.
අද (15) දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මාර්තු 16 සිට අප්‍රේල් 10 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ විභාග මෙන්ම මින් පෙර යුද්ධය හේතුවෙන් කල් දමන ලද විභාග ද මේ යටතේ සම්පූර්ණයෙන්ම අවලංගු වේ. අදාළ රටවල පවතින අනාරක්ෂිත තත්ත්වය සහ පාසල් බලධාරීන්ගෙන් ලැබුණු ඉල්ලීම් මත මෙම තීරණය ගත් බව මණ්ඩලය සඳහන් කරයි. මෙම සිසුන්ගේ අවසන් ප්‍රතිඵල නිකුත් කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ මින් පෙර 10 වන ශ්‍රේණියේ විභාග ද අවලංගු කිරීමට පියවර ගෙන තිබුණි.














