ලොව වැඩිම ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ සමස්ත ජනතාව ගණන් කිරීමේ දැවැන්ත සංගණන ක්‍රියාවලිය වසරක කාලයක් පුරා ක්‍රියාත්මක වන පරිදි අද (01) සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ. කොවිඩ්-19 වසංගතය ඇතුළු විවිධ හේතූන් මත වසර කිහිපයක් ප්‍රමාද වූ මෙම සංගණනය සඳහා නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වේ.දස වසරකට වරක් පැවැත්වෙන මෙම ජන සංගණනය මුලින්ම 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙවර සංගණනය ප්‍රධාන අදියර දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වන බව ඉන්දීය සංගණන කොමසාරිස් මෘතුන්ජේ කුමාර් නාරායන් (Mritunjay Kumar Narayan) මහතා සඳහන් කළේය. එහි පළමු අදියර යටතේ නිවාස සහ ඒවායේ පවතින පහසුකම් පිළිබඳ තොරතුරු රැස් කෙරෙන අතර, දෙවන අදියරේදී පුද්ගලයන්ගේ ආර්ථික සහ සමාජයීය තොරතුරු ලබා ගැනීමට නියමිතය.එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව ඉන්දියාව 2023 වසරේදී චීනය අභිබවා යමින් ලොව වැඩිම ජනගහනය සහිත රට බවට පත් විය. කෙසේ වෙතත්, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ පවතින මෙම විශාල තරුණ ශ්‍රම බලකාය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි.මෙම සංගණනයේදී විශේෂත්වයක් වන්නේ වසර දහස් ගණනක සිට ඉන්දීය දේශපාලනයට සහ සමාජයට දැඩි බලපෑමක් එල්ල කරන කුල ක්‍රමය (Caste) පිළිබඳව ද වෙනමම දත්ත රැස් කිරීමට තීරණය කර තිබීමයි. මීට පෙර 2011 වසරේදී ද කුල දත්ත රැස් කළ නමුත් එහි නිවැරදිභාවය පිළිබඳව පැවති ගැටලු හේතුවෙන් ඒවා ප්‍රසිද්ධියට පත් නොකෙරුණි. මෙවර පළමු වරට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙම සියලු තොරතුරු සටහන් කරගන්නා බැවින් සංගණනය අවසන් වූ සැණින් දත්ත වාර්තා නිකුත් කිරීමට හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.















