ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (28) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ පසුගිය ජනවාරි 29 වන දින ගණේමුල්ල පොලිස් වසමේදී කොකේන් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 423ක් සහ මත්පෙති 3,450ක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගැනීමත් සමඟය. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඇයගේ සැමියා සහ පුත්‍රයා මෙම ජාවාරමට සහාය වී මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බවයි. නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ මඟින් මාර්තු 24 වන දින ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 57 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. දැනට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන මොවුන්ගෙන් මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සෙසු සාමාජිකයන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














