අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (08) පැවැත්වෙන 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නවසීලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ. කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර, එය ප්‍රයෝජනයට ගත් ඉන්දීය ආරම්භක පිතිකරුවන් වාර්තාගත ආරම්භයක් ලබා දුන්නේය.
සංජු සැම්සන් (Sanju Samson) අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 46කදී ලකුණු 89ක් ලබා ගත් අතර, අවාසනාවන්ත ලෙස ඔහුට සිය ශතකය අහිමි විය. ජේම්ස් නීෂම්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව බෙහෙවින් ශක්තිමත් වී තිබුණි. අනෙක් ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 18කදී වේගවත් අර්ධ ශතකයක් ලබා ගත් අතර, ඉෂාන් කිෂාන් ද පන්දු 23කදී ලකුණු 50ක් රැස් කරමින් ඉන්දියාව ලකුණු 250 සීමාව කරා රැගෙන යාමට දායක විය.
ඉන්දීය පිතිකරුවන් පළමු පන්දුවාර 6 තුළ ලකුණු 92ක් රැස් කරමින් T20 ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයක පවර් ප්ලේ (Powerplay) කාලය තුළ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද අලුත් කළහ. විශේෂයෙන්ම සංජු සැම්සන් විසින් අවසන් මහා තරගයක පිතිකරුවෙකු ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව ද මෙහිදී බිඳ දැමීම කැපී පෙනේ.














