ඉන්දියාව පුරා විසිරී සිටින සංක්‍රමණික කම්කරුවන් මුහුණ දෙන ආහාර පිසීමේ අපහසුතා සැලකිල්ලට ගනිමින් ඔවුන් සඳහා නිකුත් කරන කිලෝග්‍රෑම් 5 ප්‍රමාණයේ එල්.පී.ජී (LPG) ගෑස් සිලින්ඩර ප්‍රමාණය දෙගුණ කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ප්‍රධාන නගරවල සේවය කරන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් පවතින දුෂ්කරතා හේතුවෙන් නැවත තමන්ගේ ගම්බිම් බලා යාම වැළැක්වීම මෙම පියවරෙහි මූලික අරමුණයි. ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යාංශය විසින් ප්‍රාන්ත රජයන් වෙත උපදෙස් දී ඇත්තේ 2026 මාර්තු මුල් සතියේ පැවති දෛනික සැපයුම පදනම් කරගනිමින් මෙම අතිරේක තොග නිකුත් කරන ලෙසයි.
දැනට ඉන්දියාවේ පවුල් මිලියන 300ක් පමණ තම දෛනික අවශ්‍යතා සඳහා ද්‍රව පෙට්‍රෝලියම් වායුව මත යැපෙන අතර ඉන් සියයට 60ක්ම සෘජුවම ආහාර පිසීම සඳහා මෙම වායුව භාවිත කරයි. එරට LPG ආනයනයෙන් සියයට 90ක්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන බැවින් සැපයුම් දාමයේ පවතින යම් යම් අර්බුද හමුවේ වුවද කම්කරු ජනතාවට සහන සැලසීමට රජය මෙම තීරණය ගෙන ඇත. රාජ්‍ය අංශයේ තෙල් අලෙවි සමාගම්වල සහාය ඇතිව ප්‍රාන්ත රජයන් මඟින් මෙම අතිරේක සිලින්ඩර බෙදා හැරීමේ කටයුතු සංවිධානය කරනු ලබයි.














